baby

චූටි බබෙක් දවසක්දා අහනවා දෙවියන්ගෙන් මෙන්න මෙහෙම,

“එයාලා කියනවා හෙට මාව මනුස්ස ලෝකෙට යවනවලු. මං මෙච්චර පොඩියට ඉඳගෙන, අසරණව කොහොමද එහේ ජීවත් වෙන්නේ?”

“ඔයා බයවෙන්නෙපා. ඔයාගේ සුරදූතිය ඔයා වෙනුවෙන් එහේ බලාගෙන ඉන්නේ. එයා ඔයාව ආරක්ෂා කරයි.”

චූටි එකාට තවත් ප්‍රශ්නයක්, ” ඒ උණාට මට කියන්නකෝ, මෙහේ මට කිසිම දෙයක් කරන්න නෑ සිංදු කිය කිය, හිනාවෙවී සතුටින් ඉන්නවා අරෙන්න. එහේ?”

දෙවියන් වහන්සේ හිනාවෙලා කියනවා, “ඔයාගේ සුරදූතිය එහේ ඔයා වෙනුවෙන් සිංදු කියයි. ඔයා වෙනුවෙන් හිනාවෙයි. ඒ වගේම ඔයාට එයාගේ ආදරය දැනෙනකොට ඔයා ගොඩාක් සතුටු වේවි!”

චූටි එකා ආයෙම අහනවා, ” මම කොහොමද එයාලා ඒ ලෝකේ කතා කරන දේවල් තේරුම් ගන්නේ? මට එහේ කතාකරන භාෂාව දන්නේ නෑනේ!”

“ඔයාගේ සුරදූතිය ඒ ලෝකේ තියෙන ලස්සනම, මිහිරිම වචන ඔයාට කියලා දේවි. ඒ වගේම එයා ඔයාට ඉවසීමෙන්, කරුණාවෙන් උගන්නයි කොහොමද එහෙදි කතා කරන්නේ කියලත්.”

“එතකොට මට දෙවියන්ට කතා කරන්න ඕනේ උනොත් මං මොකද කරන්නේ?”

දෙවියෝ සන්සුන්ව උත්තර දෙනවා, ” ඔයාගේ සුරදූතිය ඔයාගේ ඔය චූටි අත් දෙක එකට එකතු කරලා දෙවියන්ට, බුදු හාමුදුරුවන්ට කතා කරන්නේ කොහොමද කියලා ඔයාට කියලා දේවි.”

“කවුද මාව එතකොට එහේදි ආරක්ෂා කරන්නේ?”

“ඔයාගේ සුරදූතිය එහෙදි ඔයාව පරිස්සමෙන් රැකබලාගනියි. එයා ඔයා වෙනුවෙන් පණ උනත් දේවි!” දෙවියෝ ආයෙම උත්තර දුන්නා.

“ඒ උණාට මම එහේ හැමදාම දුකෙන් ඉඳීවි මොකද මට ඔබවහන්සේව දකින්න ලැබෙන්නේ නෑනේ?”

“ඔයාගේ සුරදූතිය ඔයා එක්ක නිතරම මං ගැන කතාකරයි. ඒ වගේම එයා ඔයාට කියලා දෙයි කොහොමද ආයෙම සැරයක් මාව බලන්න සුර ලෝකෙට එන්නේ කියලත්.”

ඒ වෙලාවෙම දිව්‍යලෝකය පුරා ගැඹුරු නිහඩතාවක් ඇති උනා, නිහඩතාව අස්සෙන් ඇහුනේ මනුස්ස ලෝකේ ඉඳලා ඇහුන විවිධ විවිධ කටහඬවල් කිහිපයක් එක්ක කළබලෙන් ආයෙම ප්‍රශ්නයක් අහන චූටි එකාගේ ලපටි හඬ,

“දෙවියනි, මම දැන් යන්න ඕනේනේ? මට ඉක්මණට කියන්න මං වෙනුවෙන් එහේ බලාගෙන ඉන්න සුරදූතියගේ නම මොකක්ද කියලා?”

කරුණාබර හිනාවක් එක්ක දෙවියන් වහන්සේ චූටි එකාට උත්තර දෙනවා,

“ඔයාට පුළුවන් පුංචි පුතේ, එයාට කතාකරන්න අම්මා කියලා!”

ATT00002

මගේ අම්මටත්, අම්මා කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න මගේ නිමාටත්, විද්‍යුත් පණිවුඩයක් දිගේ මේ වියමනේ ඉංග්‍රීසි පිටපත් මට එව්ව අම්මටත්, අනෙකුත් හැම අම්මා කෙනෙක්ටමත් මේ ලියමන උපහාරයක්ම වේවා.

Advertisements

අද (2013.03.07) උදේ වැඩට එන්න ලෑස්ති වෙන ගමන් එහෙන් මෙහෙන් හිරු ටීවී එකේ යන පත්තරේ විස්තරේට කණ පොඩ්ඩක් දාගෙන හිටියා. තමිල්නාඩුවේ කොටි හිතවාදියෝ මධුරෙයි වල මිහින් ලංකා කාර්යාලය පොඩි පට්ටම් කරපු කතාව, ගිනි තියාගත්ත දකුණු ඉන්දියානුවා මියගිය කතාව අස්සේ ජෙයලලිතා ජෙයරාම් නෝනා කියපු කතාවක් ගැනත් ඇහුනා. ඒ අම්මණ්ඩි කියනවලු ශ්‍රී ලංකාව සත්තු වත්තක් කියලා ප්‍රකාශ කරන්න කියලා. ජෙයලලිතට උත්තර දෙන්න විදේශ කටයුතු අමාත්‍යංශයක් තියෙන නිසා එයාලා ඒ වැඩේ හරියට (?) කරයිනේ. ඒ අතර අපිට සත්තුවත්ත කියන අයගේ මම දැකපු පොඩි පොඩි විනීත සීන් ටිකක් කියන්නයි මේ ලෑස්තිය.

චෙන්නයි කියන්නේ තමිල්නාඩු අගනුවර. කාර්යාල වැඩකට මම එක වතාවක් දවස් තුනක් එහේ හිටියා. කාර් එකක් එක්ක රියැදුරෙක්ව කුලී පදනමට මට එහෙන් දුන්නා. මේ ඩ්‍රයිවර් හරි ෂෝක්. ඉංග්‍රීසි කොන්ජුම් කොන්ජුම් තෙරියුම්. ගොඩක් වෙලේට කතා කලේ හස්ත මුද්‍රාවෙන්, එහෙම නැත්නම් වචන දෙක තුනක් යොදපු ග්‍රාම්‍ය ඉංග්‍රීසියෙන්. මේ වැදගත් ඉන්දියානුවා කාර් එකේ සීට් ඔක්කොම තුවා වලින් ඔතලා තියෙන්නේ කුණු, දාඩිය ගෑවෙන එක වලක්වන්න. කාර් එකේ කාපට් එකට උඩින් පත්තර පිටු දාලා තියෙන්නේ මඩ, ජරාව ඇතුලට නො එන විදිහට. එතැනින්ම හිතාගන්න පුළුවන් කොහොම පරිසරයකද ඉන්දියානුවෝ ඉන්නේ කියලා.

ඔන්න මහ දවාලේ කුණු පිරිච්ච ටී නගර් පැත්තේ යනකොට ඩ්‍රයිවර් වාහනේ ටිකක් අයිනට කරලා නැවැත්තුවා. පිටකොටුවේ මේන් ස්ට්‍රීට් එකටත් වඩා ජනාකීර්ණ දෙනෝදහක් ගැවසෙන පාරේ තාප්පයක් අයිනට ගිය මිනිහා පාරේ සෙනග ගැන වගේ වගක් නැතිව එහෙම්ම තාප්පෙට මුත්‍රා කළා. මිනිහා මූත්‍රා කරන තැනට අඩි පහක් විතර මෙහායින් ගණ දෙවියන්ගේ රූපයක් තාප්පේ ඇඳලා තිබුනා. දෙවියත් පාඩුවේ හිටියා. මගේ අවාසනාවට කැමරාව එලියට අදිනකොට වැදගත් ඉන්දියානුවා වැඩේ ඉවර කරලා අත කලිසමෙන් පිහිදාගෙන ආපහු ආවා. එහෙම්ම පාර පැන්න මෑන්ස් පාරේ දූවිලි කකා කෑම විකුණන පොරකගෙන් කෑම පාර්සලේකුත් අරන් කාර් එකට නැග්ගා.

මම ඒ ගිය ගමන අහවර කරලා කාර් එකට එද්දි රියැදුරා කාර් එකේ සීට් එක උඩ තියාගෙන අර කෑම එක වළඳනවා. වැඩේ අහවර වෙනකම් මම ටිකක් එළියෙන් හිටියා තලු ගැහිල්ල නෑහෙන්න. හරි, කාලා ඉවරයි. ආයෙම කාර් එකට නැගලා ගමන ඇරඹුවා. කෑම එක හොඳද කොහෙද? මිනිහා ඕක් ඕක් ගගා එක දිගට ඌරෙන් රාම තෙල් අරින්න පටන්ගත්තා. ඔන්න පින්වතුනි අපිට සත්තුවත්ත කියන තමිල්නාඩුව! අනිත් රටවල්වල කේස් වලට අධෝ මුඛය ඉස් මුදුනේ තියන් බෙරිහන් දෙන මේ ඇත්තෝ තමන්ගේ රටේ ශ්‍රමිකයන්ට සළකන්නේ ඉතාම පහත් විදිහට. අපේ රියැදුරත් නූගත් කමේ ප්‍රතිමූර්තියක්. මිනිහගේ එකම වීරයා සිවාජි ද බොස්! උදේ පාන්දර ඉඳන් රෑ වෙනකම්ම කාර් එකට ජීවිතේ කැප කරන මේ ඉන්දියානුවාට තමන්ගේ මූලික සේවක අයිතිවාසිකම්වත් නෑ. අවසානෙදි මාව එයාපෝට් එකට ඇරලුවම මම දුන්න ඉන්දියානු රුපියල් පනහ මිනිහට ලක්ෂයක් වගේ.

චෙන්නායි එයාපෝට් එකේ රෑ තත්වයත් හරි වැදගත්. අපේ එයාපෝට් එක ඒ අතින් කොයි තරම් පිරිසිදුද, පිලිවෙළද, පොෂ්ද? රෑට හැමෝම කාඩ්බෝඩ් කෑල්ලක් හරි, පත්තර පිටුවක් හරි එලාගෙන අහුවෙච්ච තැනක දොයි. එයාපෝට් එක ඇතුලේ තියෙන කාර්යාල, වෙළඳසැල් වල වැඩ කරන සේවකයොත් ඒ වගේම බිම වැටිලා නිදි. තුන්වැනි ලෝකය හොඳටම පේන තැන එතැන. ඒ වගේම තමා කට්ටිය කෙළ ගහන්න ගියාම. ඉන්න තැන මොකක් උණත් ක්‍රාස් ගාලා කෙළ තලි පිටින් වටේම අත අරිනවා. අපිද සත්තුවත්ත?

වතාවක් කර්ණාටක ප්‍රාන්තයේ බැංගලෝර් වල දුම් රිය පොලක අපි ඉන්නවා. සෙනග ට්‍රේන් එක එනකම් දුම් රිය වේදිකාවේ කරවැල් කොක්කු වගේ බෙල්ල දික් කරන් බලන් ඉන්නවා. මේ අතර සාරියක් ඇඳගත්ත ටිකක් මැදිවියේ ගෑණු කෙනෙක් හිටියා වේදිකාවේ අපි හිටපු කෙලවර කිට්ටුව. එක පාරටම මේ ගෑණු කෙනා හිටගෙනම තමන්ගේ කකුල් දෙක දෙපැත්තට පළල් කළා. පතුල් දෙක අතරින් මතු උන සුළු දිය ගඟුල ගිනියම් පොළව දිගේ රන් පැහැයට දිලිසෙමින් ගලා බසින කොට අපි මූණට මූණ බලාගත්තා.

මුම්බායි කියන්නේ ඉන්දියාවේ වෙළඳ අගනුවර. බන්ද්‍රා, ජූහූ වගේ මුහුද කිට්ටු ලස්සන තැන් කිහිපයක එයාලගේ සිහින වීරයෝ මාළිගා හදන් ඉද්දි මිලියන 21කට අධික ජනතාවක් මුම්බායි නගරයේ නින්දිත විදිහට ජීවත් වෙනවා. ගුවන් යානය මුම්බායි ගුවන් තොටට ගොඩ බස්සනකොට පලවෙනි පාරට යන ඕනේ කෙනෙක්ට හිතෙන්නේ ගුවන් යානය දැන් දැන් මුඩුක්කුවක වදීවි කියන හැඟීම. ඒ තරම් මුඩුක්කු වටේ පිටේ. සමහර මුඩුක්කු තට්ටු දෙකටත් හදලා. තමන්ගේ හිඟනකම SLUMDOG MILLIONAIRE චිත්‍රපටිය දිගේ ඩැනී බොයිල් ලෝකෙට පෙන්නුව එක ගැන මළ පැන්න ඉන්දියානුවෝ අද මුඩුක්කු පෙන්නලා ආදායම් හොයන්න පටන් අරන් තියෙන්නේ. කවුද සත්තු?

පාරේ යන වාහන දිහා බැලුවොත් හැමෝටම පේන විශේෂ යමක් තියෙනවා. ඒ තමයි එයාලා පැති කණ්නාඩි භාවිතා නොකරන වග. ගොඩක් වාහන වල පැති කණ්නාඩි වහපු ගමන්. තව බහුතරයක් ඒවා ගලවලා. යතුරු පැදි, ත්‍රීවිල් වල ඇත්තෙම නෑ. පාරේ යන එන කොට සංඥා දීම, මාර්ග සංඥා පිළිපැදීම ගැන වගේ වගක් නෑ. හෝන් එකේ බලේට තමයි වාහනය ඉස්සරහට යන්නේ. නීතිය වල් වැදුන තැනක ඉඳන් වෙන සත්තු ගැන කොහොම කතාකරන්නද?

තව ගොඩක් දේ තියෙනවා ලියන්න. නමුත් වෙලාව මදි. මේ දේවල් මෙහෙම වෙන්න අපේ පාලකයෝ,  එයාලා පත් කරලා යවපු විදේශ නිළධාරිනුත් වග කියන්න ඕනේ. පුංචි උදාහරණෙකින්ම ඉවර කරන්නම්. මුම්බායි රට තොට බලන්න ගිය ටැක්සිය එලෙව්වේ රාජ් කියලා තමිල්නාඩුවේ දෙමළ ජාතිකයෙක්. රාජ්ගේ සීයා යාපනයේ ඉඳලා යුධ කලබල අස්සේ තමයි තමිල්නාඩුවට පැනලා ගිහින් තිබුනේ. මේ නූගත් රියැදුරා ලංකාව ඇහැට දැකලත් නෑ. මිනිහගේ වීරයා තමයි පිරුබාහරන්. මම සිංහල කිව්ව ගමන් රාජ් මුලින්ම කැළඹුනා. ගමන ඉවර උණාම රාජ් මට කියනවා, සිංහල මිනිස්සු නපුරු, ජරා ජාතියක් හැටියට තමයි මෙච්චර කල් හිතන් හිටියේ. ඒත් දැන් එහෙම නෙවෙයි කියලා හිතෙනවා කියලා. කොච්චර සමීපකමක් ඇති උනාද කියනවා නම් රාජ් මට එයාගේ පවුලේ උදවිය පවා අඳුන්වලා දුන්නා.

කාගෙද එතකොට වරද? මගේද? රාජ්ගෙද? එහෙම නැත්නම් මේක කියවන අපේ කට්ටියගෙද? මට හිතෙන්නේ තාමත් අපි ශ්‍රී ලංකාව ගැන, සිංහලයා ගැන අනෙත් ජාතින්ට හරියට තේරුම් කරලා දෙන්න අපොහොසත් වෙලා කියලයි. ඒක කරන්න ඕනේ කට්ටිය ඒ රස්සාව හරියට නොකරන නිසා තමයි ජෙයලලිතලා, වයිකෝලා, නැදුමාරන්ලා අද තමිල්නාඩුව සහ සමස්ත ඉන්දියාවම අපිට සත්තුවත්ත කියන තැනට ගෙනල්ලා තියෙන්නේ.

කස්ටියට මතකනේ අපේ යාලුවා කසුන්ව? මතක නැති කස්ටිය මේ කතා දෙක කියවලා මතක් කරගන්නකෝ එහෙනම්.

ජම්බෝ පීනට්

මම නම් නෙවෙයි ඕන්

කසුන් කැම්පස් ඉන්න කාලේ කස්ටිය එක්ක ට්‍රිප් එකක් යන්න සෙට් උණා. කොහේ ගියත් ඉතින් දිනූෂත් වලිගේ වගේ යනවනේ. එහෙම ගිය නිසා තමා මේ කතාව ගැනත් ආරංචි උනේ. ගමන ගියේ කන්තලේ හරහා නිලාවැලියට (කන්තලේ හරහා නොගිහින් අඹතලේ හරහා යන්නයැ??) කස්ටිය අදාල පූජා භාණ්ඩ එහෙමත් මතක ඇතුව සෙට් කරන් ගමන යන්න පටන්ගත්තා.

පළවෙනි දවසේ රෑ ගත කරන්න ප්ලෑන් කරලා තිබ්බේ කන්තලේ. කසුන්ලගේ බැචෙක් හිටියා කන්තලේ. උන්ගේ ගෙදර තමා එදා රෑ නැවතුම්පොළ. කස්ටිය ඉතින් යාලුවගේ ගෙදර ගිහින් පොඩ්ඩක් චේන්ජ් එකක් දාගෙන සෙට් උනා නාන්න යන්න. නාන්න ගියේ කන්තලේ වැවට. වෙලාවත් එතකොට රෑ අට පැනලා. ට්‍රිප් එක ගිය දවස් වල කන්තලේ පැත්තේ වැස්ස අඩු කාලේ. ගහ කොල ඔක්කොම වේලිලා. ඊට හපන් වැව. ඒකෙත් වතුර නෑ. ඒක නිසා කස්ටිය නාන්න සෙට් උනේ මහ සොරොව්ව ළඟ.

කෑලි කපන්න පුළුවන් කළුවරේ කස්ටිය නාන්න වතුරට බහිනවා. කන්තලේ යාළුවා වේලාසනම පුංචි වීරයන්ට අවවාද කරලා තිබුනේ කිට්ටුවෙන් නාන්න, ඈතට යන්නෙපා කියලා. ඉතින් කස්ටියත් පරිස්සමට වතුරට බහින්න ගත්තා. මෙතන තිබුනා දිගට හදපු සිමෙන්ති බැම්මක්. කස්ටිය සිමෙන්ති බැම්මෙන් තමා වතුරට බැස්සේ. අනිත් උන් වතුරට බහිද්දි කසුන් බැම්ම දිගේ කළුවරේම ඉස්සරහට ඇවිදන් ගියා.

විනාඩි දෙකක් ගියේ නෑ. බුදු අම්මෝ කියන සද්දයක් එක්කම ගල් ගලෝගෙන කසුන් පතබෑවෙන සජීවි හඬ හැමෝටම ශ්‍රවණය උනා. කස්ටියම දඩ බඩ ගාලා වතුරෙන් බැම්ම උඩට පැනලා කසුන්ව හොයන්න ගත්තා. ඇටපල් කළුවරේ බැම්ම දිගේ ඇවිදන් ගිය කසුන් බැම්ම කෙලවර වෙන තැනින් බිමට වැටිලා. කරුමෙට එතැනත් වතුරට වඩා අර තඩි කළු ගල්. පශ්චාත් භාගය නිසි දිශානතියට උල් ගලක ඇනිලා. දැන් කසුන් කෑගහනවා ලේ එනවා කියලා වැටිච්ච පාර. කළුවරේ ලේ තියා කසුන්ව පේන්නෙත් නෑ. මොකද දැන් කරන්නේ කියලා කස්ටිය කතා වෙනවා.

අනිත් උන්ට ආතල් එක එහෙම්ම කන්ටිනියු කරන්න කියලා කන්තලේ යාළුවා කසුන්ව ඩොකෙක් ළඟට එක්කන් යන වගකීම බාරගත්තා. ආපු වාහනේම නැගලා දෙන්නා දැන් යනවා ඩොකෙක් හොයන්. යාන්තම් එක තැනක දොස්තර කෙනෙක් වැඩ. දෙන්නම දොස්තර කිව්වා වෙච්ච දේ ගැන. අර්ශස් කතාවේ දොස්තර වගේ මේ දොස්තරත් කසුන්ට කලිසම පාත් කරලා ඇඳේ දිගාවෙන්න කිව්වා. කලිසම පාත් කරපු කසුන් ළඟට ඇවිත් ඩොකා පශ්චාත් භාගය නිරීක්ෂණය කරන්න සූදානම් උනා. මොන නිරීක්ෂණද?

පංචායුධ ජාතකේ ඉන්න සිලේසලෝම යක්ෂයාගේ මල්ලි වගේ රෝම පුරෝගෙන තිබුන කසුන්ගේ පශ්චාත් භාගයේ තුවාලේ හොයනවා තියා භූගෝලීය පිහිටීම හොයාගන්නත් ලේසි නෑ. ඩොකා ඒ පාර කසුන්ට කිව්වා තව ටිකක් කකුල් දෙක පළල් කරන්න කියලා. නිලංකාර චිත්‍රපටියක ෂූටින් කරනවා වගේ කසුන් කකුල් මෑත් කරන් ඉන්නවා. දොස්තරත් නැවීගෙන තුවාලේ බලනවා. කන්තලේ යාළුවා මාරුවෙන් මාරුවට දෙන්නා දිහා බලන් ඉන්නවා.

“තුවාලේ හැටියට මැහුමක් දැම්මා නම් හොඳයි. ඒත් ඉතින් මෙතන මහලා කොහොමද?” දොස්තර කසුන්ගේ පශ්චාත් බාගෙට බෙහෙත් දාන ගමන් කිව්වා. බෙහෙත් දාලා දෙන්නා සල්ලි දෙන්න හදනකොට ඩොකා දොස්තර හොඳ හිත වගේ සල්ලිත් ගත්තේ නෑ. පශ්චාත් බාගේ ඉරිලා තිබ්බ විදිහට ඩොකාටත් දුක හිතෙන්න ඇති.

ඔය විදිහට කන්තලේදි ජරමර කරගත්ත කසුන් සහ නඩය ඊළඟ දවසේ නිලාවේලි බලා පිටත් උණා. කස්ටිය මයිකල් ෆෙල්ප්ස්ටත් වඩා පීනන්න පුළුවන් සෙට් එකක් නිසා වැල්ලට බැස්සේ නාන කිට මරාගෙනමයි. කසුනුත් ඉදිරියෙන්ම ගියා. මූදට බැහැලා විනාඩියක් ගත උනේ නෑ. කඩියා අහවල් එක සපාකෑවා වගේ කසුන් ගොඩට දුවන් ආවා. කස්ටියම හොල්මන් මොකද උනේ කියලා. බැලින්නම් අධෝ මුකේ තුවාලේ දැවිල්ල අරන් ලුණු වතුරට. “දනවෝ, දනවෝ” කියාගෙන දිව්ව කසුන් ආයේ මූදට බැස්සෙ නෑ.

හවස් අතේ ඔන්න කස්ටිය නවාතැන්පොළට වෙලා ඉද්දි කසුන් එනවා දිනූෂව හොයාගෙන කැමරාවකුත් එල්ලන්.

“අඩෝ, පොඩි උදව්වක් කරපන්?” කසුන් දිනූෂට කිව්වා. දිනූෂත් ඔළුවෙන් ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා.

“මට ආසයි *ක පැළුන හැටි බලන්න, මේ කැම් එකෙන් වීඩියෝ කරහන්කෝ” කැමරාව දිනූෂ අතට දෙන ගමන් කසුන් කිව්වා. ජයියා හරි ඇස්කොට් හරි හිටියා නම් පැනලා බාරගන්න ජොබ් එක. ඒ උණාට දිනූෂ තාම එතනට වැටිලා නෑ.

“තොට පිස්සුද යකෝ? මට බෑ තොගේ ඔය *ක වීඩියෝ කරන්න. තොට ඕනේ නම් කරගන්.” කියලා දිනූෂ කසුන්ට සුන්දර ලෙස ප්‍රතිචාර දැක්කුවා. කසුන් නෙවෙයි ඔය වගේ දෙයින් සැලෙන්නේ. කසුන් තනියෙම වැඩේට බැස්සා. එක එක මුද්‍රාවෙන්  පැල්ම වීඩියෝ කරපු කසුන් පැල්මේ තත්වය ගැන ස්වයං අවබෝධයකට ආවා.

ට්‍රිප් එක ඉවරවෙලා කස්ටිය ගෙදර ඇවිත් ටික කලක් යනකම්ම කසුන් පැල්මට බෙහෙත් දැම්මා. මේ අතරතුරේ තව ට්‍රිප් එකක් යන්න ලෑස්ති වෙච්ච දිනූෂ තමන්ගේ කැමරාව චෙක් කරනකොට තමා දැක්කේ කසුන්ට තමන්ගේ *ක් වීඩියොව ඩිලීට් කරන්න අමතක වෙලා බව. ඔන්න දැන් ඒක දිනූෂ ළඟ. කාට හරි කසුන්ගේ පශ්චාත් බාගේ බලාගන්න ඕනේ නම් දිනූෂව කන්ටැක්ට් කරන්න!

පහ වසරේ ශිෂ්‍යත්වේ ගොඩ දාගෙන හය වසරෙදි ආවා කොළඹ ඉස්කෝලෙකට. ගෙදර ඉඳන් කිලෝ මීටර 35ක් විතර උදේ හවස ආවේ ස්කූල් බස් එකෙයි, කෝච්චියෙයි. ස්කූල් බස් එක ගැහැණු පිරිමි පොදු පාසල් බස් එකක්. බම්බලපිටියේ SPM එකේ ඉඳන් මරදානේ ආනන්දේ වෙනකම්ම විවිධ විවිධ ඉස්කෝල වල උන් මේ බස් එකේ ආතල් පෙරාගෙන ඉස්කෝලේ ගියා. අවුරුද්දේ විනෝද සමය එලැඹෙන්නේ බිග් මැච් කිට්ටු වෙද්දි තමයි. ඒ කාලෙට කෙලින පිස්සු ගැන ලියන්න වෙනම පෝස්ට් හත අටක් දාන්න ඕනේ. අපිට ඒ කාලෙට හැම බිග් මැච් එකම අපේ වගේ. ඇයි ඉතින් පීටර්ස්, රෝයල්, තර්ස්ටන්, මහනාම, D.S., ආනන්ද, නාලන්ද, etc සෙට් එකම බස් එකේ ඉන්නවනේ. ඔක්කොම ගියේ එක ඉස්කෝලේ උන් වගේ. අපි ඉස්කෝල වෙනුවෙන් ගහගත්තේ නෑ. අපේ ඉස්කොලේ බිග් මැච් එකට අපි බස් එක සරසන විදියටම ලස්සනට අනිත් ඉස්කෝල වල බිග් මැච් වලදිත් බස් එක සරසනවා. ඒ සහෝදරත්වය අපේ පොදු පාසල් බස් එකේ උපරිමේට තිබුනා.

ඒ දවස් වල රෝයල් එකේ බිග් මැච් එක. මැච් එකට කලින් දවසේ ලොකු පැරඩ් එකක්. අපේ බස් එකේ රෝයල් උනුත් පැරඩ් එකට යන්න සෙට් වෙලා. කොහොම ගියත් කොළඹ එන්නේ ස්කූල් බස් එකේනේ. ඉතින් අපිත් හිතුවා එදාට ඉස්කෝලේ නොගොහින් කීයක් හරි හොයාගන්න. කීයක් හරි හොයාගන්නේ පැරඩ් එකේ යන උන්ට කඩල විකුනලා නෙවෙයි, හැට් කලෙක්ෂන් එකක් දාලා.

ස්කූල් බස් එක පටන් ගන්නේ ඩිපෝවෙන්. ඩිපෝව කිට්ටුව ඉන්න උන් එදා උදේම ඩිපෝවට ගිහින් බස් එක සරසනවා.ඒ වගේ දවස් වලට බස් එක එන්නේ පැය භාගයක් විතර පරක්කු වෙලා. ඒකට හේතු දෙකයි. එකක් සරසන්න වෙලාව ගතවීම. අනික ලස්සන අක්කල කොට ඇඳුම් ගහලා ඔෆීස් යන්න පාරට බහින්නේ ඒ වෙලාව වීම. වැරදියට හිතන්නෙපා. අපි අක්කල කොටට ඇඳලා ඉන්න ඒව බලන නරක ළමයි නෙවෙයිනේ. ඒ අක්කලා අපිට වැදගත් උනේ එයාලා කන්කෙඳිරි ගාන්නේ නැතුව අපිට හැට් කලෙක්ෂන් වලට ලෙසටම ආධාර කරන නිසයි.

ඔන්න ඉතින් සුපුරුදු පරිදි පට්ට ලෙස සැරසූ පාසල් බස් රථ රාජයා එදත් වැඩියා. අපිත් මග තිබුන කනත්තකින් මල් වඩමක් පන්නලා ඒකත් බස් එකේ ඉස්සරහ ගැට ගහන් කොළඹ එනවා,. සිංදු කියනවා, මෝලම් ගහනවා, හූ කියනවා. ජූලි හතයි, අගෝස්තු අටයි බස් එක ඇතුලේ. අපි ඉතින් ලොකුම අයියලා නිසා පාපුවරුවේ තමයි ගමන. සැබෑ ට්‍රැෆික් එක පටන්ගන්නේ කටුබැද්දෙන් එහාට. කටුබැද්දේ ඉඳන්ම මග දිගට ට්‍රැෆික් එකේ නතර උනාම අපි කරන්නේ දුවගෙන දුවගෙන පාරේ ඉන්න මිනිස්සු ළඟට ගිහින් හැට් කලෙක්ෂන් දාන එක තමයි. ට්‍රැෆික් එකෙන් මිදිලා බස් එක ආයෙම යද්දි අපි දුවලා ගිහින් බස් එකේ එල්ලෙනවා.

ඔය විදියට මිලාගිරියටම ආවා. කොල්ලෝ සෙට් එක තීරණය කළා මිලාගිරියෙන් බැහැලා MC එක පැත්තට හැට් කලෙක්ෂන් දාගෙන යමු කියලා. දඩ බඩ ගාලා SPM කෙල්ලොත් එක්කම අපිත් බැහැගත්තා. බැස්ස තැන ඉඳන්ම සම්මාදම ආරම්භ කලා. ඔතැනදි තමා කතාව පටන්ගන්නේ.

ඩික්මන්ස් පාරයි ඩුප්ලිකේෂන් පාරයි සෙට් වෙන හතරමං හන්දියේ හිටපු ආන්ටි කෙනෙක්ගෙන් රුපියල් විස්සක (මීට අවුරුදු 9කට පෙර ) කලෙක්ෂන් එකක් ගන්න ගමන් මම දැක්කා අපේ රයන් නිල් පාට වෑන් එකකින් කලෙක්ෂන් දානවා. තත්පර පහක් ගියේ නෑ, මහා සද්දෙන් රයන් කෑගහනවා දුවපාන්…පොලීසියෙන් කියලා. දෙවෙනි වචනේ ඇහුන ගමන් අපි ප්‍රතීක ක්‍රියාව ප්‍රායෝගික තලයට නංවලා, කකුල් දෙක පිටේ වදින සයිස් එකට රන් එක දුන්නා. කස්ටියම රේස් එක වගේ ඩුප්ලිකේෂන් පාරේ එක පෙලට දුවනවා. අපරාදේ කියන්න බෑ, ගලයත් ඉස්සරහම පස්දෙනා අතරේ හිටියේ. රයන් කලෙක්ෂන් දාන්න අත පෑව නිල් පාට වෑන් එක පොලිස් වෑන් එකක් බවත්, සල්ලි අරන් මිස සල්ලි දීලා පුරුදු නැති පොලීසියේ වෑන් එක නැවත හරවගෙන නාලාගිරි සෙයියාවෙන් පිඹලා එන බවත් පසුපස ක්‍රීඩකයෝ මහ හඬින් දැනුම් දුන්නා.

කෙලින් පාරේ දිව්වොත් කෙලවීම නියත බව අපේ ටිකිරි මොළ වලට වැටහුනා. කස්ටියම ඉස්සරහ තිබ්බ අතුරු පාරකින් (ඩි ෆොන්සේකා පෙදෙස ) හැරිලා ගාළු පාර දිහාට දිව්වා. මගක් දුර දුවන කොට තව හරස් පාරක් වමට, බෙතෙස්ඩා පටුමග. ඔතැනදි වීර සෙබළු දෙකට කැඩුනා. කස්ටියක් ගාළු පාර දිහාට දිගටම දිව්වා. මම ඇතුළු අනෙක් පිරිස බෙතෙස්ඩා පටුමග දිගේ ඉස්සරහට දිව්වා. ඒ අතරේ සමහරු මහා තාප්ප වලින් වතු වලට පැනලා, තව අය නවත්තලා තිබ්බ වාහන අස්සේ, යට හැංගිලා. බාගයක් විතර දුර දිව්ව අපි නැවතුනේ හති අරින්න.

විනාඩි දෙකක් යන්න ලැබුනේ නෑ. තලපතා කියන මගේ බොක්ක යාළුවා බෙල්ලේ දාගෙන තිබ්බ ස්නෙයර් (Snare – අර මෝලම ගහන ලොකු බෙරේ) එකට ඩුම් ඩුම් ගාලා සද්දෙන් ගහන ගමන් කෑගහන් දුවගෙන ගියා, ඔන්න පොලීසියෙන් එනෝ කියාගෙන. උගේ අණබෙරේ ඉවරවෙන්න ලැබුනේ නෑ පොලිස් වෑන් එක හරෝපි අපේ පාරට! මොනවා කරන්නද ඉතින්? පටන්ගත්තා ආයෙම රන් එක. හැබැයි මේ වතාවේ සෙල්ලම් සුම්මා. අපේ පාර හරස් කරලා වාහනේ නවත්තපි!

නැවතියවු ඔක්කොම කියලා අර කර්ණ මධුර ස්වරයෙන් අපේ කර්ණ ශංඛය පුරවාලූ පොලිස් අන්කල් කෙනෙක් වෑන් එකේ දොරත් ඇරන් පැන්නා එලියට. පොලීසිය ඉස්සරහින් බයිසිකලේවත් පදින්නේ නැති රයන් ටක් ගාලා උගේ අතේ තිබ්බ අනිත් මෝලම් බෙරේ බිම දාලා අත් දෙක උඩට උස්සපි! රයන් දිහායි, අහුවෙච්ච අනිත් හතර දෙනා දිහායි කටාක්ෂ නිරීක්ෂනේ දාපු පොලිස් අන්කල් ආයෙම අර මාධූර්‍ය වොයිස් එකෙන් අපිට කතාකලා, නැගපියවු ඔක්කොම වෑන් එකට.

හොදි නැතිව රෝස් පාන් කන්න හිත හදන් කස්ටිය රිංගුවා වෑන් එක අස්සට. අනිත් උන් කොහේ ගියාද කියලා නෑ. පොලීසිය ගැන තිබ්බ අකලංක, අනුපමේය විස්වාසේ නිසා මම අතේ උණ්ඩි කරන් හිටිය සල්ලි ටිකයි, කොඩියයි එහෙම්ම ඔබාගත්තා කලිසමේ වම් සාක්කුවට. වෑන් එක කෙලින්ම ගියේ විසාකා මේන් ගේට් එක ඉස්සරහට. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ අර සූකිරි කෙල්ලෝ හොම්බවල් දාලා සත්තුවත්තේ සත්තු දිහා වගේ අපි දිහා බලනකොට.

මෙයාලද උදේ ඉස්කෝලෙට පනින්න ආවේ? ‘ තුන් හිතකවත් නොතිබ්බ අශ්ලීල චෝදනාවක් අපේ කරපිට පටලවන්න පොලිස් අන්කල් විසාකා දැරිවියකගෙන් සාක්කි හොයනවා. දැරිවි අපේ නම්බර් ප්ලේට් දිහා බලන් ඉඳලා නෑ කියලා කිව්වම අපිට හිතුනේ ඒ දැරිවිව මව් තනතුරේ තියලා උපහාර කළත් මදි නේද කියන සිතුවිල්ලයි. ඒ නඩුවට අපි අදාළ නෑ කියලා තේරුනාම පොලිස් වෑන් එක ආයෙම එතැනින් අපිවත් දාගෙන ‘කොළඹ වටේ” යන්න ගත්තා.

ඔහොම එද්දි අපිට පේනවා පාරේ තැන් තැන් වල අපේ අනිත් උන් එහේ මෙහේ ඉන්නවා. වෑන් එක දැක්කම කස්ටිය අපිව ජීවිතේට තියා, මීට සංසාර හත් අටසීයකට එහාවත් නොදැකපු විදිහට හිස් බැල්මට් එක දාගෙන අහක බලාගන්නවා. උන් කියලා මොනවා කරන්නද ඉතින්? ඒ මදිවට සමහර උන් වෙන ඇඳුම් ඇඳන්! පස්සේ ආරංචි උණා පොලීසිය ඇඳුම් වලින් අඳුරගනියි කියලා කලෙක්ෂන් දාපු සල්ලි වලින් ලාබ ටී ෂර්ට් ගත්තා කියලා. කොහොමින් කොහොම හරි වෑන් එක ඇවිත් නතර කලේ බම්බලපිටිය පොලීසියේ. පොලීසිය ඇතුලට අපිව එක්කන් ගිහින් බංකුවක් පෙන්නලා වාඩි වෙන්න කියලා කිව්ව පොලිස් අන්කල්ලා ටික ආයෙම වෑන් එකට නැගලා යන්න ගියා HFC එකට කස්ටියක් පනින්න යනවා කියලා ආරංචි වෙලා. අපිත් ඉතින් බංකුවට වෙලා කකුල් පද්ද පද්ද හිටියා. බඩත්ගිනියි එකසිය ගානට. බැරිම තැන රයන් නැගිටලා පොලිස් අන්කල් කෙනෙක්ගෙන් ඇහුවා බඩගිනි නිසා කන්න මොනවා හරි ගේන්නද කියලා. එලියට නොයා පොලීසියේ කැන්ටිමෙන් මොනවා හරි ගෙනත් කන්න කියලා උත්තරේ ලැබුනා. එකතු කරපු සල්ලි වලින් යෝගට් ගෙනාපු කස්ටිය යාන්තම් සුදහ ගින්දර නිවාගත්තා.

ටික වෙලාවකින් අර පොලිස් අන්කල් එක එකාට එයා ළඟට එන්න කිව්වා. පොතක් ඇදලා ගත්තා විස්තර ලියන්න. අපි කාගෙවත් නමක් මීට කලින් ජීවිතේට පොලිස් පොතක ලියවිලා නෑ. මොනවා කරන්නද? වවුලගේ මගුල් ගෙදර ගියා නම් එල්ලිලා හිටුකෝ කියලා කස්ටිය ලෑස්ති උනා එන දේකට ඇඟිල්ල දෙන්න. මුලින්ම ගියේ රයන්. ප්‍රශ්න කිරීම පටන් ගත්තා,

පොලිස් : නම මොකක්ද?

රයන් : රයන් ********

පො : ඉස්කෝලේ?

ර : රෝ_ _

පො : පාරවල් වල මොනාද කලේ?

ර : අනේ නෑ සර්. අපේ ඉස්කොලේ පැරඩ් එක අද. අපි ඒකට එන ගමන් හිටියේ. වැරදි දෙයක් කලේ නෑ.etc

රයන්ගේ ප්‍රකාශය ඉවර උනා. ඊළඟට හිටියේ මම.

පො : නම මොකක්ද?

මම : __න් ******

පො : ඉස්කෝලේ?

මම : නා_ _ _

පො : නා_ _ _? මොන මගුලක්ද රෝ_ _ එකේ උන් එක්ක කරන්නේ?

මම : අනේ නෑ අන්කල්. අපි හැමෝම එක ස්කූල් බස් එකේ එන්නේ. සපෝට් එකට ආවේ, etc.

තුන්වැනියට හිටියේ සිගාර කියලා ඕ ලෙවල් කරන වයසේ එකෙක්. උගෙනුත් සුපුරුදු ප්‍රශ්න කිරීම ඇරඹුනා.

පො : නම?

සිගාර : සිගාර *******

ඉස්කෝලේ : නා_ _ _!

පො : යකෝ, රෝ_ _ එකේ පැරඩ් එකට යන ඔක්කොම උන් නා_ _ _ද? ඉස්කොලේ තෙමෙනවද? Etc….

හතරවැනියත් ඕ ලෙවල් කරන ඩිනේෂ් කියලා එකෙක්. පොතේ විස්තර ලියන්න ලෑස්ති වෙලා පොලිස් අන්කල් උගෙනුත් ප්‍රශ්න කිරීම ඇරඹුවා.

පො : නම?

ඩිනේෂ් : ඩිනේෂ්

පො : ඉස්කෝලේ?

ඩි : තර්_ _ _!

පො : මොන මගුලක්ද මේ? රෝ_ _ එකේ පැරඩ් එකට යන ඔක්කොම උන් වෙන ඉස්කෝල වල උන්ද? Etc….

අවසාන හාදයටත් කැඳවීම කලා. පොර හසන්ත. ඇත්තටම ඌ ස්කූල් බස් එකේ නිත්‍ය නියෝජිතයෙක් නෙවෙයි. ස්කූල් බස් එකේ අපිත් එක්ක එන යාලුවෙක්ගේ බොක්කක්. ඌ මොන ඉස්කෝලද කියලා අපි දන්නෙත් නෑ. ඔන්න ඌවත් කැඳෙව්වා.

පො : නම?

හසා : හසන්ත

ඉස්කෝලේ : හොරණ තක්_ _….

ඈ මිනිහෝතමුසේ හැමදාම මුන් එක්කද ඉස්කොලේ යන්නේ?’ කොහෙවත් හිටපු එකෙක් කොහෙවත් ගිය කේස් එකක පැටලිච්ච් එක ගැන ඇතිවෙච්ච හිනාව බකස් ගාලා එලියට දැම්ම රාළහාමි එහෙම අහද්දි බංකුව උඩ සිටි අපි සැම ඇතුළු පොලීසියේ සැමටත් එක වගේම හිනා. අපිත් හොල්මන් හොරණ ඉස්කෝලේ යන එකෙක් මෙහේ මොන මගුලක් කරනවද කියලා. සිද්ධවෙලා තියෙන්නේ මේකයි. හසන්තයා කොහේදෝ යන්න ටවුන් එකට ආපු වෙලේ අපේ බස් එකේ යන උගේ යාළුවා හසන්තයව ඇදගෙන ඇවිත් කලෙක්ෂන් යන්න. අසරණ හසන්තයා පොලිස් පොතේ නම ලියාගත්තේ ඔන්න ඔය විදියට අනුන්ගේ බිග් මැච් වලට චියර් කරන්න ගිහින්.

කොහොමින් හරි එදා අපි පොලීසියෙන් එලියට ආවම අපිට වඩා වීරයෝ නෑ කාටවත්. අපි ඉතිරි කාලේ බස් එකේ ගියේ සැබෑම සැබෑ පුංචි වීරයෝ හැටියටයි. හසන්තව මට හම්බු උන පළවෙනි සහ අවසාන වතාව එදා. සිගාරයි ඩිනේෂ්වයි කීප පාරක් දැක්කා, නමුත් කතා කරන්න ලැබුනේ නෑ. රයන්ව සමහර දාට කෝච්චියේ එනකොට හම්බු වෙනවා. අදටත් බස් එකේ ගිය හැමෝම මේ කතාව මතක් කරලා බඩ අල්ලන් හිනාවෙනවා.

කොයි කාගෙන් ඇහුවත් ජීවිතේ ලස්සනම කාලේ මොකක්ද කියලා, හැමෝම කියන්නේ ඒ ඉස්කෝලේ කාලේ කියලයි. ඉතින් මටත් ඒක එහෙමයි! ඉස්කෝලේ කාලේ කියන්නේ එකම රස ගුලාවක්. ගුරුවරු පන්තියට ඇවිල්ලා උගන්නපු එක විතරයි ටිකක් අවුලකට තිබුනේ. නමුත් ඉස්කෝලේ අනිත් හැමදේම අදටත් හරි ආතල්.

එකේ ඉඳන් පහ වෙනකම් මම ගියේ මිශ්‍ර පාසලකට. අපේ ඉස්කෝලේ ගේට්ටුවෙන් එලියට එද්දිම ඉස්සරහ තිබුනේ පොලීසිය. ඉස්කෝලේ ඇරුනම පොලීසිය වත්තේ කූඩු දෙක තුනක දාලා හිටපු පොළොන්ගු, පිඹුරෝ හැමදාම ගිහින් බලන එක එකේ දෙකේ පන්ති වල අපේ දින චර්යාවේ කොටසක්. ඊට මෙහා පැත්තේ තිබුනේ ක්‍රිකට් ක්ලබ් එක. ක්ලබ් එකේ ඉස්සරහ සල් ගහෙන් සල් මල් කඩලා සල් මල ඇතුලේ කළුතර බෝධිය බලන එකත් එක විනෝදාංශයක්. ඒ වගේම ක්ලබ් එකේ වත්තේ හැමදාම බිම වැටිලා තියෙනවා අපි කවදාවත් දැකලා නොතිබ්බ ටොනික් පියන් ජාතියක්.පොඩි කාලේ අපි දන්නේ නෙක්ටෝ, ෆැන්ටා වගේ පැණි බීම බෝතල් ජාති නිසා ටිකක් ලොකු වෙනකම්ම ඉන්න උණා අර ටොනික් පියන් තිබ්බේ මොන ජාතියේ බීම බෝතල් වලද කියලා දැනගන්න.

ක්ලබ් එකට එහා පැත්තේ තිබුනේ පල්ලියේ සොහොන. ඒකේ සොහොන් කොත් අතරේ හැන්ගිමුත්තන් කරන එක අපේ තවත් ආතල් එකක්. සොහොන මායිමේ තිබුනා විශාල රූස්ස ගහක්. සොහොනේ තාප්පෙට නැගලා ගහේ අතු වලට නගින අපි ටාසන් වගේ අත්තේ එල්ලිලා බිමට පනිනවා තරගෙට. ඊළඟට සොහොනේ තාප්ප කණ්ඩිය දිගේ තරගෙට ඇවිදිනවා. ඔහොම ඇවිදිනකොට දවසක් ගලයා ලිස්සලා වැටුනේ නැතැයි කාණුවට. ගෑණු ළමයිනුත් දැක්කා. විලි ලැජ්ජාවේ සන්තෝසේ බෑ එදා….

සොහොනත් එක්කම පාර. පාර එහා පැත්තේ පල්ලිය. ඊට එහා පැත්තේ පාක් එක එක්ක ගඟ. ඔතන තමයි ඉතින් ආසම තැන. වෙන ඉස්කෝල වල අයියලා ඔතනට එනවා පීනන්න ප්‍රැක්ටිස් වලට. අපි ස්කූල් වෑන් එක එනකම් ලී කෑලි බැට් වලින් ක්‍රිකට් ගහනවා ඒ අතරේ. බෝලේ ගිහින් ගඟට වැටුනොත් අර අයියලට කන් කෙඳිරි ගාලා බෝලේ ඉල්ලගන්නවා.

ඉස්කෝලේ ඇතුල ටිකක් පොඩියි. ඒක නිසා සෙල්ලම් කරන්න ටිකක් අමාරුයි. හතරේ, පහේ අයියලා තමයි ඉතින් හොඳ තැන් අල්ලන් සෙල්ලම් කරන්නේ. අපි ඒක නිසා ඉස්කෝලේ ඇරෙනකම් ඉන්නවා එළියේ සෙල්ලම් කරන්න. කොහොමත් ටවුන් එකේ එහා කෙළවරේම තිබුනේ අපේ ඉස්කෝලේ නිසා වෑන් එතැන්ට ආවේ අන්තිමටම. ඒක නිසා දඟලන්න ගොඩක් කාලේ තිබ්බා. ඔය අතරේ මරු සිරා වැඩත් නොකළා නෙවෙයි. ක්ලබ් එක වත්තේ වහලා තිබුන ළිඳේ ගෝල්ඩ් ෆිෂ් මාළුවෝ ඉන්නවා කියලා ළිඳ අරින්න ගියා එක වතාවක්. අපි නැත්තේ මොකද කියලා බලන්න ආපු වෑන් එකේ අන්කල්ට මාට්ටු වෙලා, අන්කල් ගෙවල් වලට ගින්න පත්තු කරලා, අම්බානක ගුටි කාපු හැටි අදටත් මතකයි.

ඉස්කෝලේ එහා පැත්තේ තිබුනේ ඉස්පිරිතාලේ මෝචරිය. ඉතින් ඉස්කෝලේ හොල්මන් තියෙනවා කියලා ඒ දවස් වල හරි පුරාජේරුව. සමහරු හොල්මන් දැක්කා කියලා පච අත අරිද්දි අනිත් උන්ට පට්ට ජෙල. ඇයි, උන්ට එතකොට පිලිගැනීමක් නෑනේ. ඒ වගේම තමයි ප්‍රින්සිපල් මැඩම්ගේ කළුවර කාමරේ. බරපතළ වැරදි කරන උන්ව කළුවර කාමරේට දාලා වහනවා කියලා තමයි රාවය පැතිරිලා තිබුනේ. කතා එමටයි ඒ ගැන, හැබැයි ගිය උන් එකෙක්වත් නෑ. ඉස්කෝල වත්ත පිටිපස්සේ තිබුන සොහොන් කොත ගැනත් ඒ වගේම කතා ගොඩයි.

ඔන්න ඔහොම තමයි මගේ බාලාංශ පන්ති පරිසරය මගේ හිතේ සහ ගතේ රැඳුනේ. මෙතන තිබුනේ චූටි කාලේ අපි හැමෝම පොදුවේ අත් වින්ද අහිංසක අත්දැකීම් විතරයි. ඉඳහිට මැරෑටි වැඩත් නොවුනා නෙවෙයි. හැබැයි බොහොම සරලෙට තමයි සිසු ජීවිතේ ගලා ගියේ. පහ වසරෙන් පස්සේ මේ ජීවිතේ ටිකක් වෙනස් උණා. පහ වසරෙදි තිබ්බ ශිෂ්‍යත්ව විභාගෙන් පාස් වෙලා මම වෙන ඉස්කෝලෙකට ගියා. එතන ඉඳලා එළියට එනකම්ම වසරෙන් වසරට රස බර අත්දැකීම් එමටයි. ඒවා ඉදිරියට.

නැවත හමුවෙමු!

ජම්බෝ පීනට් කතාවේ කසුන්ව මතකනේ කස්ටියට. කසුනුයි මමයි එක ගමේ හිටියට තාම දෙන්නට දෙන්නා දැකලා නෑ. හැබැයි කසුන් ජම්බෝ පීනට් කතාව රස කර කර කියෙව්වා කියලා ආරංචියි. අදත් කියන්න යන්නේ කසුන්ගේ කතා තමයි. මේ කතා කිව්වෙත් කසුන්ගේ අතිජාත මිත්‍ර දිනූෂ තමයි.

ඔය සෙට් එකම ගියේ එකම ඉස්කෝලෙට. ඉස්කෝලේ තියෙන්නේ මූද කිට්ටුව. හැමදාම ඉස්කෝලේ ඇරිලා කස්ටිය වැල්ලයි, ඒකට සමාන්තරව දිවෙන රේල් පාරයි තමන්ගේ ප්‍රාණ භුක්තියට අරගෙන තමයි ටවුන් එකට එන්නේ. වැල්ල දිගේ එද්දි මග තියෙනවලු හෙණ පේර ගහක් පැහිලා, ඉදිලා, බිමට නැවිලා, බරවෙලා ගෙඩී!! කස්ටිය හැමදාම වගේ පේර ගහට වග කියලා තමයිලු ඉතින් එන්නේ. එදත් පේර ගහට සෙට් වෙන්න කස්ටිය ලාස්ති උනාලු. පයිලට් උනේ අපේ යාලු කසුන්!

අනිත් කස්ටිය එළියේ ඉද්දි කසුන් වත්තට පැනලා ගහට නැගගත්තා. අතු දිගේ පරිස්සමට උඩට ගිහින් එහෙන් මෙහෙන් අහු වෙච්ච හොඳ ඉදිච්ච ගෙඩි කස්ටියට කඩන අතරේ ඔතෙන්ට ආපි ඉස්කෝලෙම තව පොඩි ඇච්චෝ ටිකක්.මුන් ටික ගහට නැග්ගේ නෑ. ඒ වෙනුවට ගල් වලින් ගහලා පේර කඩන්න පටන්ගත්තා. කසුන් ගහට නැගලා පේර කඩනවා, පොඩ්ඩෝ බිම ඉඳන් ගල් ගහලා පේර කඩනවා. ටික වෙලාවයි ගියේ. පොඩි එකෙක් ගහපු ගලක් පේර ගහ තිබුන වත්තේ ගෙයි ටකරම් වහලට වැටුනා.

ගිඩෝං ගාගෙන ටකරමට ගල වැටුනා විතරයි කස්ටියට ඇහුනා ගේ ඇතුලේ හිටපු කවුරු හරි එකෙක් ලස්සන වචන කියාගෙන දොර අරින්න අගුල කරකවනවා. දන්නවනේ ඉතින් වැල්ලේ කස්ටියගේ ටයිප් එක. පොඩ්ඩෝ ටිකයි, ලොක්කෝ ටිකයි හිමීට දිරාමාර් උණා පාර දිගේ මුකුත් නොවිච්ච ගානට. පැනගන්න ටයිමින් මදි වෙච්ච කසුන් ගහ උඩම ගල් ගැහුනා.

චූටි පහේ කරා පෙනුමක් තිබ්බ අයියා කෙනෙක් ගෙයින් එළියට ආවා. ළඟ තිබ්බ වැටෙන් ඇල්බීසියා පොලු කෑල්ලකුත් කඩාගෙන අයියණ්ඩි කෙලින්ම ආවේ පාරට. පාරේ වම් පැත්ත බැලුවා, ඉස්කෝලේ ඇරිලා යන ළමයි පේනවා. පාරේ දකුණු පැත්ත බැලුවා, ඒත් තව ළමයි එනවා ඉස්කෝලේ ඇරිලා. සැකකාර අසමජ්ජාති ටික පැනලා ගිහිල්ලා නේද කියලා දැනුන අයියා ගහේ අලාබේ කොහොමද කියලා බලන්න ගහ උඩ බැලුවා.

මෙච්චර වෙලා සද්ද නැතුව, පූස් පැටියා වගේ හොරාට ගහ උඩ තිවංක සෙයියාවෙන් හිටිය කසුන්ව අයියණ්ඩි දැක්කේ එතකොටයි. අයියා තමන්ව දැක්ක ගමන් කසුන් මෝඩ පහේ බයාදු හිනාවක් දාලා අහිංසක ලීලාවෙන් ඈත පාර පෙන්නලා කිව්වලු, “අනේ අයියේ, මම නම් නෙවෙයි. අන්න අරුන් තමයි!

කිතුලට ගිය එකා දුන්න උත්තරේටත් වඩා ෂෝයි උත්තරයක් දීපු කසුන් ආයෙම යහතින් ආවේ අර කරා අයියා කාලෙකින් ජෝක් එකක් රස නොවිදපු හින්දා වෙන්නැති කියලයි පේර කඩන්න ගිය අනිත් උන් නම් කිව්වේ.

කසුන් ඊළඟ ආතල් එක දුන්නෙත් දිනූෂ එක්ක ෂොපින් පාරක් දාන්න ගිය වෙලේදියි. කසුන්ට අළුත් සපත්තු දෙකක් ගන්න ඕනේ උනා. කැම්පස් එකේ ලෙක්චර්ස් ඉවරවෙච්ච ගමන් දිනූෂවත් ඇදගෙන පොර ගියා කොටුවට. කසුන්ව දන්න උන් දන්නවා මිනිස් ආශාවන් සංතෘප්ත කරන්න අමාරුයි කියන තියරියට ගැලපෙන හරිම උදාහරණය කසුන් විත්තිය. මොන බඩුවක් ගත්තත් ඌ ඒකේ ඇදක් දකිනවා අනිවා. ඉතින් කසුන් එක්ක ශොපින් යනවා කියන්නේ පට්ට ආතල්, සනීප අත්දැකීමක් බව ළඟ ඉන්න යාළුවෝ ඔක්කොම වගේ දන්නවා.

පලවෙනි සාප්පුවට ගිය කසුන් සපත්තු කන්දක් ගොඩ ගහලා මූණ ඇඹුල් කරන් එලියට බැස්සා. සාප්පු දෙක තුනකදිම ඔය පෝරියල් එක දීපු කසුන් ඊලඟ සාප්පුවෙදි තමන්ට ගැලපෙන සපත්තු කුට්ටමක් හොයා ගත්තා. එතකොටත් සාප්පුවේ තිබ්බ සපත්තු ඔක්කොම වගේ එළියට ඇදලා, දාලා බලලා, එතනත් සපත්තු කන්දක් ගොඩ ගහලා තමයි තිබ්බේ. සාප්පුවේ එකාගෙත් මූණ මරණ ගෙදර ගිය උණහපුළුවා වගේ. ඇයි අප්පා, මූ සපත්තු දානවා විතරයි, ගන්න අදහසක් නෑනේ. කොහොමින් කොහොම හරි අන්තිමේ කසුන් සපත්තු දෙකක් තෝරගත්තා (දිනූෂ නම් කියන්නේ ඒ වගේම සපත්තු කලින් බලපු තැන් වලත් තිබුණා කියලයි!). සපත්තු දෙක පැක් කරන්න කියලා ඕඩරේ දෙන ගමන් කසුන් සාප්පුවේ මෑන්ස්ට කියනවලු,

අයියේ, එහෙනම් මේ පෙයර් එකට ඇඩ්වාන්ස් එකක් එහෙම දාලා දෙන්න, හොඳේ? “

සල්ලි දීලා සපත්තු ගන්න එකා ඇඩ්වාන්ස් ඉල්ලුවේ මොකද කියලා හොල්මන් වෙච්ච කඩේ එකාටයි දිනූෂටයි එක පාරටම හිනාව කටින් පැන්නේ කසුන්ට ඇඩ්වාන්ස් එකයි ඩිස්කවුන්ට් එකයි පැටලිච්ච බව තේරුම් ගියාට පස්සේ!

වෙසක් උත්සවේ කියන්නේ බෞද්ධ අපිට තියෙන උතුම්ම, පූජනීයම උත්සවය. මම හිතන්නේ ලංකාවේ හැම තැනම ලස්සනට සැරසෙන්නේ වෙසක් උත්සවේට විතරයි. හැබැයි වෙසක් උත්සවය මේ වෙනකොට එක්තරා ආකාරයකට විනෝද උත්සවයක් බවට පත්වෙලාද කියලත් ඒ කාලෙට පාරට බැස්සම හිතෙනවා. සමහරු ඔළු බක්කෝ නටනවා, තව කට්ටිය වෙස් මූණු එල්ලන් විගඩම් කරනවා. තව වැඩ ගොඩයි. ඔය අස්සේ වෙච්ච රස වැඩ ටිකක් තමයි නිකම් ඉන්න වෙලේ ලියන්න හිතුනේ.

මේ කතාව වෙලා තිබුනේ අපි හොඳින් දන්න යාළුවෙකුගේ නැන්දා කෙනෙකුට. කස්ටිය ඔන්න වෙසක් බලන්න කොළඹ ඇවිල්ලා. දන්නවනේ ඉතින් වෙසක් කාලේ කොළඹ තදබදය. හිරවෙලා, තෙරපිලා, පණ ගිහිල්ලා අපේ යාළුවගේ කස්ටියත් වාහනේ හත් ගව්වක් දුර නවත්තලා වෙසක් බලන්න ගත්තලු. ඔහොම යනකොට අපේ යාළුවගේ නැන්දිට පොඩි මූත්‍රා බරක් හැදුනලු. වට පිට බැලු බැලු අත මහ සෙනග. ඉතින් කොහේ මූත්‍රා කරන්නද? තමිල්නාඩුවේ හිටියා නම් කිසි ගින්නක් නැතුව හිටගෙනම වැඩේ කරන්න තිබ්බා. ඒ උණාට ලංකාවේ අපි ඔය අවලම් ඉන්දියන් හැත්තට වඩා ඩීසන්ට් නිසා මුත්‍රා බොක්ක පැලුනත් වැදගත් ලෙස දරාගන්නවනේ. යාළුවගේ නැන්දා හිටියෙත් අමාරුම අඩියේ. මොකද කරන්නේ කියලා වට පිට බලද්දි මෙන්න ටිකක් එහායින් රථගාලක් තියෙනවා. ටක් ගාලා වෑන් එකක් පස්සට ගිය නැන්දා වට පිට කවුරුත් නැති තැන සැහැල්ලු වෙන්න කියලා පාත් උණා. රථගාලේ මේ වාහනේ නවත්තලා තිබුනේ මූණත පාරට විරුද්ධ දිහාට දාලා. ඉතින් නැන්දා ඉඳගත්තේ හරියටම කිව්වොත් වාහනේ ඉස්සරහ පැත්තේ. වැඩේ බාගයක් පහවෙද්දිම එක පාරටම වාහනේ හෙඩ් ලයිට්ස් පත්තු උණාලු. ඉතිරි ටික කියන්න ඕනේ නෑනේ…..

දෙවෙනි කතාව උනේ මම ඇතුළු යාළු මිත්‍රයන්ට. හැබැයි ඒ මීට අවුරුදු දහයකටත් එහා. අපි ගියා බත් දන්සලකට වෙසක් බලන්න යමින් ගමන්. කෑම ටිකත් හොඳට තිබුනා. බත් එක්ක හාල්මැස්සෝ බැදුමක්, පරිප්පු, කොස් සහ තව මොනව හරි තිබ්බා.බත් කන අතරතුරේ දන්සලේ අයියලා අඩු වැඩිය බල බල බෙදනවා. අපේ යාළුවෙක් මේ අයියා කෙනෙක්ට කතා කරලා අඩුවක් ඉල්ලුවා,

“අයියේ, හාල්මැස්සෝ ටිකක් දෙනවද?”

මූණ අවුල් ගහපු අයියා කියනවා, “මල්ලි, හාල්මැස්සෝ නම් දෙන්නේ එක පාරයි. කොස් ඕනේද??”

මං හිතන්නේ අදටත් සමාජයේ ගොඩක් දන්සැල් මේ වගේ වෙන්න ඕනේ……එහෙම කිව්වට දන්සල් වලට යන සෙනගේ සීමවක් නෑ. එන්න එන්නම වැඩි වෙනවා. රුපියල් 7,500න් හොඳට කාලා ඉන්න පුළුවන් උණාට අපේ ඇත්තෝ වෙනසකට කැමති ඇතිනේ.

අපේ ටවුමේ තිබ්බ අයිස්ක්‍රීම් දන්සලක් ගැනයි මේ තුන්වැනි කතාව. වෙසක් දවසේ බස් හෝල්ට් එකට වෙලා බස් එක එනකම් බලන් හිටපු සෙනග එක පාරටම සුලි සුලඟක් ආවා වගේ ළඟ තිබ්බ බැංකුව දිහාට තල්ලුවෙලා ගියා. බැලින්නම් එතැන බැංකුවෙන් අයිස්ක්‍රීම් දන්සැලක්. මිනිස්සු පොර කකා කෝන් වල දාපු අයිස්ක්‍රීම් කනවා. මිනිස්සුන්ගේ බඩගින්න (එහෙම නැත්නම් කෑදරකම ) දිහා බලාගෙන මමත් මගේ ගමන ගියා. අදාල වැඩේ ඉවර කරගෙන ආයේ ඒ පැත්තට එද්දි ෆුල් හොල්මන් දසුනක් එතැන. වටේ පිටේ ඉන්න එවුන් අයිස්ක්‍රීම් ටොපින් එකක් දාපු ක්‍රීම් කැකර් කනවා. මොකක්ද මේ ආතල් එක කියලා බලද්දි තමයි ආරංචි උනේ කෝන් ඉවරවෙලා ඒ වෙනුවට බිස්කට් උඩට අයිස්ක්‍රීම් දාලා කන්න දෙන විත්තිය. වෙරිම තමයි….

හතරවෙනි කතාව ගැන ආරංචිය ගෙනාවේ අපේ බාප්පා කෙනෙක්. වෙසක් දාට පස්සේ දා අපි පවුලේ හැමෝම මුණගැහුනා පවුලේ උත්සවේකට. එදා හැමෝගෙම මාතෘකාව ඉතින් වෙසක් ගැන. කූඩු, තොරණ්, දන්සැල්, පහන් වැටවල් ගැන අපි කතා කරන අස්සේ බාප්පා කිව්ව කතාවට අපේ ඇඟ හීතල වෙලා ගියා. බාප්පා රාජකාරි වැඩකට හොරණ ගිහින් එද්දි බණ්ඩාරගම ටවුන් එක මැද්දේ එළු සුප් දන්සැලක් දෙනවලු. මොනවා උණත් බුද්ධ තෙමගුල දා සත්තු මරලා දන්සැල් දීම මහා පවක් නිසා අපි හැමෝම ඔය වැඩේ කරන්න ඇති කියලා සැක කරපු පාර්ශ්වයට අම්මමෝ කියලා බැන්නා.බණ්ඩාරගම ලොකු අම්මයි, මහප්පයි උත්සවේට ආවේ ටිකක් දවල් වෙලා. එයාලා ආපු ගමන් අපි ඇහුවේ ටවුන් එකේ වෙච්ච පඩත්තල වැඩේ ගැන ආරංචිද කියලයි. එළු සුප් දන්සැලක් කිව්වම දෙන්නත් හොල්මන් වෙලා ගියා. තිබුන ලොකේෂන් එක කොහෙද කියලා විපරම් කලාම අපි කිව්වා බණ්ඩාරගම පරණ බස් ස්ටෑන්ඩ් එකේ කියලා. ඒක අහපු ගමන් දෙන්නටම හිනා. අපි හොල්මන්! එයාලත් ඒ දන්සැලට ගිහින්ලු ඇවිත් තියෙන්නේ. හැබැයි ඒක එළු සුප් නෙවෙයි එළවළු සුප් දන්සැලක්ලු. බාප්පා බීලද හිටියේ කියලා බලන්න හැමෝම බාප්පව හොයන්න ගත්තා ඊට පස්සේ.
wesak

ආදරේ..

Posted: April 30, 2012 in මගේ කවි
Tags: ,

සින්නක්කර ආදරේ
ජීවිතය
පලාගිය මොහොතක
උකස් බඩු කඩේ
වැඩ කරන
නුඹේ දෑස්
කතා කල
සොඳුරු බව
මට තාම මතකයි..
මගේ හිතේ
තනිකම
හැකිද එලවන්ට
නුඹ හට…
ඒ උනත්
ඈට දුන් හදවතේ
රැඳුනු මගේ ආදරේ
පොළී පිට පොළී
පැටව් ගසනා
මොහොතකදී
හැකිද මට
කළඳක්වත්
තබනු
උකසට
නුඹ වෙතට…

2008.12.28 දින එක්සෑම් අස්සේ ලියූ කවියකි.

Peanuts

අපේ දිනූෂ (අපේ කිව්වම හිතන්නෙපා ඌව ජනතා සන්තක කරලා කියලා. මේ මාත් එක්ක කෝච්චියේ එන ගජයෙක්) කැම්පස් ඉන්න කාලේ දවසක් ගියා උන්ගේ යාළුවෙකුගේ ගෙදර දවස් දෙක තුනක නිවාඩුවකට. ගියෙත් තනියෙම නෙවෙයි, තව ගජයෝ හතර පස් දෙනෙක් එක්ක. කස්ටියම ඉතින් දැන් ප්ලෑන් එක එහේ මෙහේ ඇවිදින්න. බදුල්ල, වැලිමඩ පැත්තේ තමයි සෙට් එක ගියේ. යාළුවගේ ගෙදර තියෙන්නේ පොඩි කන්දක් උඩ. කන්ද පහලින් උමා ඔය හරි අපූරුවට ගලන හැටි පේනවලු. දිනූෂයි, සෙට් එකයි තීරණය කළාලු ඔය පැත්තේ විසිට් එකක් දාන්න. අනික ඒ තරම් දුරකුත් පේන්න තිබිලා නෑ.

උදේ දහයට විතර කට්ටිය හෙමිහිට ඔය දිහාට පල්ලම් බහින්න පටන්ගත්තා. පර්යාවලෝකනයට අනුව ඈත තියෙන දේවල් පොඩියට පේන වග දැන හිටියට කඳුකර පැතිවලදි දුර ඩබල් වෙන වග කස්ටියට එච්චර නිච්චි උනේ නෑ. ඒක නිසා ඔය ළඟට යද්දි ඉරත් මුදුන් වෙලා. කන්න බොන්න දේකුත් ගෙනල්ලා නෑ. කස්ටියට ෆට්ට කට්ට. ආපු මෝඩකමට වටේ සිරි නරඹලා ආයෙම පාද පරි-චාරිකාව පටන්ගත්තා පයෝදරයට (ඒ කියන්නේ කකුල් දෙක නේද? ;-)) වැඳ වැඳ.

බැස්සා වගේ නෙවෙයි නගින්න ගත්තම. සෑහෙන මහන්සියි කස්ටියටම. බාහු බල තියෙන උන් ටික පොඩ්ඩක් වේගෙන් යද්දි අබල-දුබල උන් ටික හෙමින් එන්න ගත්තා. දිනූෂ ගමනේ මාර්ගෝපදේශකයා හින්දා චුට්ටක් පස්සෙන් තමයි ආවේ අනිත් උන් මග ඇරෙයි කියලා (මගේ ඇත්ත සිතුවිල්ල නම්, ඌටත් එච්චර හයිය හත්තිය නැති නිසා ගාට ගාට එන්න ඇති, අනික කැම්පස් කොල්ලෝ බබා හුකුන්ලද ඩේ කෙයාර් දාලා බලාගන්න?). කොහොම හරි දිනූෂගේ ඇන්ටනාවට වැටුනා කසුන් ඇර අනිත් උන් ඔක්කොම උඩට නැග්ග බව. කසුන් කොහෙද බලන්න දිනූෂ ටිකක් නැවතිලා බලන් හිටියා (ඇත්ත කතාව – දිනූෂට පට්ට හති කන්ද නැගලා).

ටිකකින් ඔන්න එනවා කසුනයා. කසුන්ගේ කකුල්, අත පය වගේම මුඛයත් වැඩ කරන බව දිනූෂට මීටර් උණා. බැලින්නම් මූ සාක්කුවේ හොරෙන්ම ජම්බෝ පීනට් එකක් දාගෙන ඇවිත් තියෙන්නේ. අනිත් උන්ට පස්සෙන් එන ගමන් පොර ඒකට තනියෙම වග කියනවා (ඔන්න ඕක තමයි අපිට ජ්‍යෙෂ්ඨ උත්තමයෝ රැග් සීසන් එකේදි කරන්න එපා කියන්නේ. හැබැයි එව්වා වැදි බණ ). දිනූෂටත් මළ මේකට.

“මොනවද යකෝ තනියෙම කන්නේ අපි හැමෝම ඉඳිද්දි?” අළුත් නැව ආවම ජුන්ඩන්ට දාන තගම දිනූෂයත් කසුන්ට දැම්මා. කසුනයා ඕවට සැලෙන්නේ නෑ, මොකද ඌ කොහොමත් ඉන්නේ ඔළුවට පොල් ගෙඩියක් වැටිලා වගේ තමයි.

“කෑගහන්න එපා බං”, කසුනයා දිනූෂට කියනවා. “සෙට් එකටම කන්න දෙයක් මේකේ නෑ. ඔන්න ඔහේ උඹත් කාපන්. අනිත් උන්ට කියන්න ඕනේ නෑ” අයුතු යෝජනාවක් කරන ගමන් කසුනයා දිනූෂට ජම්බෝ පීනට් පැකට් එක දික් කලා. පැකට් එක හිස් ඇති කියලා කසුනයට බැන්නට තමන්ට කන්න දේකුත් තියෙනවා කියලා තේරුම් ගියාම දිනූෂයත් සමානාත්මතාව, සම්පත් විසමතුලිතතාව ගැන තෙල් බෙදිල්ල පැත්තක තියලා ළඟ තිබ්බ කණ්ඩියක ඉඳගත්තා කජ්ජක් වළඳන්න. කජු ඇට දෙක තුනක් අල්ලට දාලා කන්න හදනකොටම දිනූෂයා දැක්කා අමුත්තක්.

“මොකද බන් මේ කජු වල පාට? කළුවට තියෙන්නේ පුස් බැඳිලද කොහෙද??” පව්ඩර් වගේ අතට දැනෙන, දිලීර ලෙස සැක කෙරෙන කුඩකින් ආවරණය වෙච්ච ජම්බෝ ඇට දිහා බලන් දිනූෂයා කසුනයට අනතුරු ඇඟෙව්වා. ඇෆලෝටොක්සින් නෙවෙයි, ඒඩ්ස් තිබ්බත් කජු ඇටයක් විසි නොකර කන ගමන් කසුනයා සන්සුන් විදියට උත්තර දුන්නා,

“නෑ, නෑ බන්. ඔය පුස් නෙවෙයි. මං ඔය ඇතුලේ තිබ්බ ගම්මිරිස් කුඩු පැකට් එක කඩලා කජු වලට ඉස්සා….”

එක පාරක් හරි ජම්බෝ පීනට් කාපු උන් දන්නවනේ ඇතුලේ තියෙන පැකට් එක මොකක්ද කියලා? බට ලයිට් උන් එයාලගෙන් අහගන්න එහෙනම්. පුදුමේ කියන්නේ කසුනයා තාමත් විජලනය නොවී යහතින් ඉන්නවා!

පොඩි උන් හරි අහිංසකයි, හයක් හතරක් තේරෙන්නේ නෑ. ඉතින් ගොඩක් වෙලාවට මේ පොඩි උන් මහ උන්ගේ රෙදි ගලවනවා උන්ගේ ළාමක කතා වලින්. මේ ඒ වගේ සිද්ධි දෙකක්.

අපේ ළඟ ගේක හිටියා හුරුබුහුටි කොළු පැටියෙක්. ඒ කාලේ කොල්ලට අවුරුදු 3ක් ඇති වැඩිම උනොත්. දවසක් අම්මා කාටද මන්දා බැනලා ගෙදරදි. කොළුවා ඇවිත් අපේ වයිෆ්ට කියනවා සිද්ධිය,
“බලන්න පොඩි අක්කේ, අපේ අම්මා අද *****ට බැන්නා ගෙදරදි. රෝස බල්ලා, රෝස බල්ලා කියලා තමයි බැන්නේ” පොඩි එකා අර හුරතල් හඬින් කියනකොට අපි කටවල් තදකරන් හිටියා හිනාව වැඩි කමට. පොඩි එකාට රෝස කියලා ඇහුනේ මොන වචනෙද කියලා ඔහෙලට තේරෙනවා ඇතිනේ. කිරිසප්පයෝ ඉන්නවානම් ඇඩ්ඩින්ගෙන් අහනවා හොඳයි!

දෙවෙනි කතාව සිද්ධ වෙලා තිබුනේ අපේ ඔෆීස් එකේ යාලුවෙකුට. එතැන පොඩි කෙල්ලෙක්! පොඩි එකා නැන්දලගේ මිදුලේ සෙල්ලම් කරනකොට මාමා නැන්දට නොසෑහෙන්න බණිනවලු. ඕක අහන් හිටපු පොඩි එකී ගෙදර ඇවිල්ලා අම්මගෙන් අහනවලු,
“අම්මේ, අම්මේ, ඇයි මාමා නැන්දට මුට්ටි,මුට්ටි කියලා බනින්නේ?”

කාලා වරෙන් මඩු මාළු කිව්වලු. ඒක නිසා පොඩි උන් ඉන්න තැන් වල කතා කරද්දි කට පරිස්සම් කරගත්තොත් හොඳයි!